පාහරයා

පාහරයා, උඹ කවුද? උඹ කවුරු උනත් උඹට මොකද? උඹ කවුද කියලවත් උඹ දන්නේ නෑ. උඹට මොනවද තියෙන්නේ කියල උඹ දන්නෙත් නෑ. දැනගනින්, උඹ කඩන ඇපල් වෙන එකෙක්ගේ වත්තක. උඹ බොන වතුර වෙන එකෙක්ගේ ටැප් එකක. උඹ ගන්න හුස්මත්, වෙන එකෙක්ගේ ජීවන සුවඳ. එතකොට උඹට කියලා මොනවද තියෙන්නේ? ඇයි උඹේ හිත? එක උඹ විකුණුවා නේද? උඹේ හෘද සාක්ෂිය? ඒකත් උඹ උකස් කළා නේද? උඹේ සංවේදීකම, සංයමය, චින්තනය, විශ්වාසය? උඹ ඒ ඔක්කොම බදු දීල. උඹේ කියල මුකුත්ම උඹට නෑ දැන්. උඹේ මහා ලොකු බහුතරේ. උඹේ පාරම්පරික ඉතිහාසේ. කෝ ඒවා? ඒවා උඹේ කියන්න, ඒවාට අයිතිවාසිකම් කියන්න, උඹ මොනවද ඒවාට කරලා තියෙන්නේ? අයිති නැති දේවල් වලට ගහගන්නවා. දන්නේ නැති දේවල් වලට කට දානවා. උඹ අන්තිමට කරලා තියෙන්නේ, වෙන එකෙක් ඇඳපු චිත්රයක් පාට කරපු එක විතරයි.


උඹ '83 කරෙත් ඕක. '94 කරෙත් ඕක. උඹත් තාමත් කරන්නේ ඒකමයි. උඹ විතරක් නෙමෙයි. උඹලා, උන්, අපි හැමෝම.

උඹ ඉපදුනා කියල මේ ලෝකේ වෙනස් වෙන්නේ නෑ. උඹ මැරුණා කියල මේ ලෝකේ වෙනස් වෙන්නෙත් නෑ. එත්, ඒ ඉපදීමයි මරණයයි අතර තියෙන ජීවිතෙන්, උඹට තවත් ජීවිත වෙනස් කරන්න පුළුවන්. එක නිසා ජීවත් වෙයන්. උඹ හීනෙන් දකින වෙනස, ඇස් දෙකෙන් දකින්න ඕනේ නම්, ඒ වෙනස ජීවත් වෙයන්. මහා ලොකු කෙරුමා උඹ. ඇඳපන් උඹේම කියලා චිත්රයක්. ඇඳලා පාට කරපන් ඒක උඹේ ජීවිතෙන් .


උඹට ඕනේ විදියට උඹ ඉපදෙන්නේ නෑ. උඹට ඕනේ විදියට උඹ මැරෙන්නෙත් නැති වෙයි. ඒක නිසා උඹට ඕනේ විදියට ජීවත් වෙයන්. පුළුවන් හැම වෙලාවකම ඇස් දෙක වහගෙන කෑගහපන් "මට මාව එපා" කියලා. එතකොට උඹට තේරෙයි, උඹට මොනවද ඕනේ කියලා.


කජු පුහුලන් වගේ මිනිස්සු අතරේ, සරුංගලයක් වෙන්න හදන, බොම්බයි මොටයි ජීවිතේ...


මිනිස්සු නිකන් කජු පුහුලන් වගේ. උඩින් ඔප වැටිලා. පාට වෙලා. පැණි රහයි, ටිකක් ඇඹුලයි. දැක්කම ආස හිතෙනවා. එත් පුහුලමට යටින් ලෙල්ල. තිත්තයි. කැතයි. හැකිලිලා, අඳුරු පාටයි. අත තිබ්බොත් කිරි ගෑවෙනව. කිරි ගෑවුනාම අත වන වෙනවා. එත්, ඒ කිරි ගාගෙන, අත වන කරගෙන, ලෙල්ල ඇරලා, මදේ එලියට ගත්තම තමයි රසම හරිය තියෙන්නේ.

මිනිස්සු ජීවත් වෙන්නේ නිකන් සරුංගල් වගේ. උඩට යන්න දඟලනවා. ඔහේ පාවී පාවී ඉන්න. හුලඟත් එක්ක ඒ මේ ඇත යන්න. සැහැල්ලුවට. බරක් නැතිව. එත්, පොලවට නූලකින් ඇදල බැඳලා තියෙන්නේ. නූලේ දුරට වඩා යන්න බෑ. නිදහස සීමිතයි. ඉතින් නිදහස ලබාගන්න නූලත් එක්ක සටන් කරනවා. හුළඟට වඩා වේගෙන් යන්න හදනවා. වෙර දාල අදිනවා. ඇදල අදල කොහොම හරි නූල කඩාගන්නවා. ඊට පස්සේ පියාඹනවා. තප්පර දහයකට විතර ඔහේ පාවෙනවා. නිදහස අත්විඳිනවා. ඊට පස්සේ කඩා වැටෙනවා. පොළවටම වැටෙනවා, අයෙත් උඩ යන්න බැරි වෙන්න. අන්න එතකොට තේරුම් ගන්නවා, අර නුලෙන් තමා අපි උඩ හිටියේ කියලා. නුල නැතුව, උඩ ඉන්න බෑ කියලා.


"ජීවිතේ නිකන් බොම්බයි මොටයි වගේ. පැටලිලා පැටලිලා ලෙහන්න බෑ. එත් රසයි."


එතකොට උඹ මොන වගේද? උඹ උඹ වගේ. උඹට චේ ගුවේරා වෙන්න බෑ. කාල් මාක්ස් වෙන්න බෑ. චර්චිල් වෙන්න බෑ. අඩුම ගානේ මර්වින් වෙන්නවත් උඹට බෑ. උඹ මොන සෙල්ලම් දැම්මත්, උඹ කොයි දේ කලත්, උඹ උඹම තමයි. ඇයි උඹ දුකෙන් වගේ? උඹට කවුරු වගේ වෙන්නද ඕනේ උනේ?


පාහරයා, උඹ උඹම තමයි.