අසූ තුන මට මතක නෑ
-------------------------අසූ තුනේ කළු ජූලිය ගැන ගොඩක් දෙනා කතා කරනව. මට අසූ තුන ගැන තියෙන්නෙ මතකයක ඡායාවක් විතරයි. මම ඉස්කෝලෙ ඉන්නකොට තාත්තා ඇවිත් මාව ඉස්කෝලෙන් කලින් එක්කරගෙන ගියා මතකයි. පාරෙ ලොකු කලබලයක් වගේ දෙයක් තිබුණත් ලාවට මතකයි. ඊට වඩා දෙයක් මට ඒ ගැන මතක නෑ.
අසූ හතරෙදි මම ඉගෙන ගත්තෙ වෙන ඉස්කෝලෙක. ඉන්දිරා ගාන්ධිට වෙඩි තිබ්බ එක ගැන වැඩිහිටියො කතා වුණා මට මතකයි. “දැන්නම් ඉතින් කොටින්ට නටන්න වෙන්නෙ නැහැ.“ කවුරුහරි කෙනෙක් කිව්ව. කොටිය කියන සතා ගැන එච්චර වැටහීමක් මට තිබුණෙ නැහැ. කොහොම උනත් අපිව කන්න ඉන්න කොටින්ට නටන්න බැරිවීම ගැන මට සතුටක් ඇති වුණා.
පස්සෙ මම පත්තර කියවන්න ගත්ත. දිවයින ඉරිදා සංග්‍රහය. ඒකෙ වීරය තමයි සුනිල් අයියා (සුනිල් මාධව ප්‍රේමතිලක). ජනක රත්නායකයි විනී හෙට්ටිගොඩයි ඒකට චිත්‍ර ඇන්ද. ජනකට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන්. හැබැයි මගෙ හිත ඇදිල ගියේ විනී හෙට්ටිගොඩගෙ චිත්‍රවලට. එයා මාර විදිහට සංකල්ප චිත්‍රවලට ගන්නව. එයාට මම කොච්චර කැමති වුනාද කියනව නම් මම විනි හෙට්ටිගොඩ විදිහට අකුරු ලියන්නත් පුරුදු වුණා.
දිවයින පත්තරෙන් මගේ ‘කොටි‘ ගැන දැනුම පුළුල් වුණා. ගම්මාන වලට ‘කොටි ගහපු‘ හැටි, හාමුදුරුවොන්ට කොටි ගහපු හැටි මම දිවයිනෙන් කියෙව්ව. මම යාලුවොත් එක්ක වගේම වැඩිහිටියොත් එක්කත් ‘කොටි‘ ගැන සාකච්ඡාවලට ගියා. "අසූ තුනේදිම ඕක ඉවරයක් කරල දැම්මනම් ඉවරයි" සමහරු කිව්ව. අසූ තුන ගැන අපැහැදිලි මතකය ආයෙත් මගෙ හිතේ මතුවෙලා නැතිවුණා.
ඊට පස්සෙ පත්තරෙන් විතරක් නෙමෙයි, ටීවි රේඩියෝ හැම එකෙන්ම මට යුද්ධෙ ගැන අහන්න දකින්න ලැබුණ. ඛේදවාචක ගොඩක් සිද්ධ වුණා. කොච්චර ඛේදවාචක වුනාද කිව්වොත් ඛේදවාචක ගැන සිංදු කියපු ඇන්ටන් ජෝන්ස් සිංදු කියන එක නවත්තල දැම්ම. ඔය අස්සෙ "අපි සහයෝගෙන් ඉන්න ඕන" කියල කියන සිංදු ඇහෙන්න පටන් ගත්ත. "තෝෂේ මෂල වඩේ" සිංදුව සංගිත සංදර්ශනවල නැගල ගියා. "අපිට ෂහයෝගෙන් ඉන්න තිබ්බ එකනෙ අප්පා මේ ඩර්ටි පොලිටික්ස්වලින් නැතිවුණේ" සංගීත කණ්ඩායමේ සිංදු කියන අයියලා සිංදුව මැද්දෙ එහෙම කිව්ව.
සංගීත සංදර්ශනවල විතරක් නෙමෙයි, ඊට පස්සෙ දේශපාලන වේදිකාවලත් මේ ගැන කතා වෙනව ඇහුණ. "අසූ තුනට කලින් එල්ටීටීඊ එකට දෙමල ජනතාව අතර පිලිගැනීමක් තිබ්බෙ නැහැ. අසූ තුනේ කරපු වැරදිවලින් තමයි මේ ප්‍රශ්නෙ මෙහෙම වුණේ" ඒවට ආපු අය කිව්ව. කොහොම වුනත් මට අසූ තුන මතක් කරගන්න හැකිවුණේ නෑ.
තවත් කාලෙකට පස්සෙ යුද්ධෙ ඉවර වුණා. යුද්ධෙ ඉවර වුණාමත් මම සංගීත සංදර්ශනයක් බලන්න ගියා, තෝෂේ මෂල වඩේ සිංදුව අහන්නත් එක්ක. එදා අයියලා ඒක කිව්වෙ නැහැ. ඒ වෙනුවට එයාල කිව්ව "අත උස්සල ගහන්න මල්ලි අප්පුඩියක් - දැන් අපිට නිදහසේ සිංදු කියන්න පුළුවන් රටක් තියනව කියල" අලුත් සිංදු ටිකත් නැගල ගියා. කොච්චරද කියනව නම් බස්වල ටීවීත් දාල එව්ව පෙන්නුව.
ඔහොම යනකොට යුද්ධෙදි වෙච්ච අපරාධ ගැන සුද්දො විභාග කරන්න හදනව කියල කතාවක් ආව. සුද්දො තාම අපිව යටත් කරගන්න හදන උත්සාහයට විරුද්ධව ජනයා පෙල ගැහුන. කට්ටියක් කොලඹ තොවිලෙකුත් කලා. කොහොම වුණත් ඒ තොවිලෙට ආවෙ නම ගිය යකැදුරෝ බෙරකාරයො එහෙම නෙමෙයි.
ඊට පස්සෙ එක එක දේවල් සිදුවුණා. ඒ අස්සෙ අර නටපු අය, බෙර ගහපු අය හොදට පුහුණුවෙලා තිබුණ. දැන් එයාලට ලෝකෙ තියන හොදම තොවිලෙ උනත් නටන්න පුළුවන් තරම් වෘත්තියභාවයක් තියනව.
මේ දෙදාස් දාහතර. තවම මට අසූ තුන මතක නෑ. හැබැයි අසූ තුනේ උනේ මොකක්ද කියල දැන් මට හිතාගන්න පුළුවන්.
- නිශාන්ත කුලරත්න
https://www.facebook.com/nishantha.kularathne